Sunday, July 1, 2012

My Research of පටිච්චසමුප්පාදය


පටිච්ච යනු 'ප්‍රත්‍ය කරගෙන' යන්නයි. යම් සිදුවීමකට උපකාර වන්නේ යමක්ද එය ප්‍රත්‍යයි. සමුප්පාද යනු සමව උප්පාදනය වීමයි. එනම් ප්‍රත්‍යයට අනුකූල ප්‍රතිඵලයක් ඇති වීමයි.

මනුෂ්‍යයින්, තිරිසන් සතුන්, අමනුෂ්‍යයින්, නිරිසතුන්, දෙවියන්, බ්‍රහ්මයින් ඇතුළු විශ්වයේ සියලු ජීවීන් ස්වයංක්‍රීය වස්තූන්ය. ඒ සියල්ලටම රූපකලාප (අණු, පරමාණු, උපපරමාණුක අංශු ආදී ශක්ති පොදි) වලින් සැදි ශරීර පවතී. අරූපාවචර බ්‍රහ්මයින්ටද ඉතාමත් සියුම් ශරීර පවතී. ජීවයක් පැවතීමට ශරීරයක් අත්‍යවශ්‍ය වේ. මෙම රූප කලාප සියල්ල හේතූන් නිසා හටගන්නා අතර ක්ෂණිකව බිදී යයි. එයම නැවත හේතුවක් වී රූපකලාප හට ගනී. අසුරු සැණක් ගසන මොහොතක ලක්ෂ කෝටි ප්‍රොකෝටි වාරයක් රූප කලාප ඇති වී නැති වී යයි. 

ඒ සියල්ලෙහිම දුක්ඛය අන්තර්ගතය. දුක්ඛය යනු දූෂණය වෙමින් ක්ෂය වෙමින් හටගන්නා වූ විඳීම් ස්වරූපයයි. දුක්ඛය නොදැනීම, දුක්ඛයට හේතුව නොදැනීම, දුක්ඛය නැති කිරීමට හැකිය යන්න නොදැනීම, දුක්ඛය නැති කිරීමේ මාර්ගය නොදැනීම අවිද්‍යාවයි. එය අවබෝධ කරගන්නා විද්‍යාව උපදවාගනී. එනම් රහත් භාවයට පත් වී දුක්ඛයෙන් සදහටම මිදෙයි. තමා එවැනි විද්‍යාව අවබෝධ නොවුණු ජීවියෙකි. එනිසා තමා "මම", "මගේ" යනුවෙන් අයිතිවාසිකමක් සාදාගෙන ඇත. ක්ෂණිකව බිඳෙන රූප කලාප තුළ තමාට අයිති දෙයක් නොපවතී.  

අවිජ්ජාපච්චයා සංඛාරා
අවිද්‍යාව නිසා සංස්කාර හටගනී. සංස්කාර යනු දුක්ඛ ස්වරූපය සහිත ජීවියාගේ පැවැත්ම තවත් ඉදිරියට ගෙන යා හැකි ආකාරයෙන් ඇතිවන සකස්වීමයි. බැඳීම සංස්කාර වල ඇති එකම ලක්ෂණයයි. සෑම රූපකලාපයක් සකස් වීමේදී අවිද්‍යාව ඒ තුළ පවතී. එය අසවල් ශක්තීන් වලින් අසවල් ආකාරයට නිර්මාණය වන බව එය දනී. රූපකලාප තුළ කාන්දම් ශක්තියක් පවතී. මුළු විශ්වයම සෑදී ඇත්තේ රූපකලාප වලින් වන අතර ඒවායේ කම්පනය නිසා විශ්වය පවතී. රූපකලාප තුළ අන්තර්ගත වන කාන්දම් ශක්තීන් වර්ග 5කට වෙන් කළ හැක. එනම් රූපකාම, ශබ්දකාම, ඝන්ධකාම, රසකාම, හා ඵොට්ටබ්බකාමයයි. 

සංඛාරාපච්චයා විඤ්ඤාණං
උදාහරණයක් ලෙස ඇසෙහි රූපකාම ශක්තිය පවතින රූපකලාපයක් සලකමු. එම රූප කලාපයට වෙනත් බාහිර රූප කලාපයකින් නිකුත් වූ ආලෝක තරංගයක් වැටුණු සැණෙකින් එම රූපකලාපයේ තිබූ රිද්මය වෙනස් වේ. එනම් එහි කම්පනයක් ඇති වේ. එම කම්පනය වීම විඤ්ඤාණයයි. මෙහිදී හටගෙන ඇත්තේ චක්ඛු විඤ්ඤාණයයි. මෙසේම කණෙහි ශබ්දකාම ශක්තිය පවතින රූපකලාපයක් මතට ශබ්ද තරංගයක් වැටුණු විට ඇතිවන කම්පනය සෝත විඤ්ඤාණයයි. නාසයෙහි ඝන්ධකාම ශක්තිය පවතින රූපකලාපයක් මතට වායු අණුවක් ගැටී එහි රසායනික ශක්තිය නිසා ඇතිවන කම්පනය ඝාන විඤ්ඤාණයයි. දිවෙහි රසකාම ශක්තිය පවතින රූපකලාපයක් මතට ද්‍රව අණුවක් ගැටී එහි රසායනික ශක්තිය නිසා ඇතිවන කම්පනය ජිව්හා විඤ්ඤාණයයි. ශරීරයේ ඵොට්ටබ්බකාම ශක්තිය පවතින රූපකලාපයක් මතට වෙනත් ඕනෑම රූපකලාපයක් (ඝන, ද්‍රව, වායූ අංගු, තාප විකිරණ ආදිය ) ගැටීමෙන් ඇතිවන කම්පනය කාය විඤ්ඤාණයයි. එමෙන්ම මේ සියල්ල එක් වී මතකය ආශ්‍රයෙන් ඇති වන කම්පනය මනෝ විඤ්ඤාණයයි.

විඤ්ඤාණපච්චයා නාමරූපං
විඤ්ඤාණයෙහි ක්‍රියා ශක්තියක් පවතී. අදාළ රූපකලාපයේ කාන්දම් ශක්තිය විඤ්ඤාණය වූ දෙසට එකෙණෙහිම නැමෙයි. එය "නාම" යනුවෙන් හඳුන්වයි. කාන්දම් ශක්තියෙහි ඇති වන සෙලවීම නොහොත් රුප්පනය වීම "රූප" යනුවෙන් හඳුන්වයි. "නාම-රූප" යනුවෙන් හඳුන්වන්නේ රූපකලාපය තුළ කාන්දම් ශක්තියේ නැමීම හා සෙලවීමයි. සංස්කාර වලට උදව් ලැබෙන්නේද නැමීම හා සෙලවීමෙනි. ඒවා එකිනෙකට ප්‍රත්‍ය වෙයි. 

රූපකලාපයේ කාන්දම් ශක්තිය නාම-රූප වූ සැටියේ එනම් නැමී සෙලවී ගිය සැටියේ එය පුපුරයි. ඒ අවස්ථාවේ එහි ගැබ්ව තිබූ ශක්තිය පිටකරයි. එහි ඇති කාන්දම් ශක්තිය පිළිගැනීමට සමත් සෑම රූපකලාපයක්ම එකෙණෙහිම පුපුරයි. පුපුර පුපුරා තාපය පිටකරයි. 

නාමරූපපච්චයා සළායතනං
පුපුරා ගිය සැටියේ සළායතන හටගනී. එනම් නිෂ්පාදනය කරන ස්ථානය. එවැනි ස්ථාන 6ක් තිබේ. උදාහරණයක් ලෙස ආලෝකය පිළිගන්නා කාන්දම් ශක්තියෙන් යුත් රූපකලාප පිපිරීම සලකමු. පිපිරුණු සැණින් එයින් තාපය පිටවේ. එය මැනගත හැක්කේ දැනෙන වේලාවේමය. පිටවන ශක්තිය තුළ කෙලෙස් මිශ්‍රිතය. 

සළායතනපච්චයා ඵස්සෝ
සළායතන හේතුවෙන් ස්පර්ශය ඇති වේ. එනම් සළායතන වල ශක්තියෙන් තවත් එකක් හා සම්බන්ධ වීමයි. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතරමහාභූත ස්පර්ශයට යොමු වේ. සම්බන්ධ වනවාත් සමඟම ස්පර්ශය මහාභූත වලට බෙදෙයි. ස්පර්ශයේ හා මහාභූතයේ කාන්දම් ශක්ති 2 එක සමාන නම් එහි චලනයක් ඇති වේ. එය ස්පර්ශය වූ බවට සාක්ෂියයි. මෙය තරංගමය ස්පර්ශයකි. පඨවිය යනු ස්පර්ශයෙහි තද වන ප්‍රමාණයයි. තද වීමට ඇති නිදහස ආපෝ ධාතුවයි. තද වන ප්‍රමාණයට හටගන්නා රත් වීම තේජෝ ධාතුවයි. රත් වීමේ ප්‍රමාණයට හටගන්නා කම්පනය වායෝ ධාතුවයි. ආයතන 6හිම සිදුවන්නේ මෙවැනි ස්පර්ශයකි.

ඵස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවෝ
ස්පර්ශය නිසා විඳීමක් හටගනී. ස්පර්ශයේ ප්‍රමාණයට රත්වීමක් ඇති වේ. එය විඳීමයි. දුක්ඛ වේදනා, සුඛ වේදනා යනුවෙන් විඳීම දෙයාකාරයකි. ස්පර්ශයෙන් හටගන්නා රත්වීම දුක්ඛ වේදනා ඇති කරන අතර රත්වීමෙහි අඩුවන ප්‍රමාණය සුඛ වේදනා වේ. 
විඳීම නිසා තණ්හාව ඇති වේ. එනම් රත් වන ප්‍රමාණයට තමාගේ අරමුණ කෙරෙහි යොමු වීමක් ඇති වේ. රත්වීම වැඩිවත්ම කාන්දම් හා විද්‍යුත් ශක්තිය වැඩි වේ. එවිට තණ්හාව වැඩි වේ. තණ්හාව නිසා උපාදානය ඇති වේ. එනම් එය තදින් අල්ලාගැනීමයි. උපාදාන නිසා භව ඇති වේ. එනම් අල්ලාගත් ප්‍රමාණයට අනුව සිදුවන සිද්ධියයි. 

භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදෝමනස්සූපායාසා
භව නිසා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇති වේ. ජාති අවස්ථාවේ සිතිවිලි පහලවේ. ජාති ජරා ව්‍යාධි මරණ ලෙස පෙන්නුම් කරන්නේ ක්‍රියාවට යොමු වූ රූපකලාප විනාශ වීමයි. ක්‍රියාවට යොමුවන ප්‍රමාණයට ශෝකය උපදී. එනම් රත්වීමයි. ඒ රත්වීමේ ප්‍රමාණයට එය මුළු සිරුරේම පැතිරෙයි. එනම් පරිදේවයයි. එයින් සිරුර කම්පනය වේ. එය ඇසට පෙනෙන කම්පනයක් නොව පරමාණුක කම්පනයකි. එමගින් දුක්ඛය හටගනී. දෝමනස්සය යනු දුක්ඛය නිසා ඇතිවන කණස්සලුභාවයයි. උපායාසය යනු දෝමනස්සය පවත්වන ක්‍රියාකාරිත්වයයි.

ඉහත මුල සිට සඳහන් කළ ක්‍රියාකාරිත්වය අසුරුසැණක් ගසන මොහොතක කෝටි ප්‍රොකෝටි වාරයක් සිදුවේ. එසේ පුපුරණ රූපකලාප වල ශක්තියෙන් තවත් රූපකලාප ඒ ආශ්‍රිතවම බිහි වේ. මේ ආකාරයට සීමාවක් නැතිව පුපුර පුපුරා තවත් රූපකලාප බිහි වේ. එම රූපකලාප වල කාන්දම් ශක්ති ප්‍රමාණයන් ඇති වන්නේ තමා කරන ක්‍රියා වලට අනුරූපවය. තමා කරන කුසල් හා අකුසල් වල ශක්තිය ඉදිරියට ගෙනියන්නේ රූපකලාප තුළිනි. ඉදිරියට ගෙනයාම යනු ස්ථිර පැවැත්මක් නොවේ. බිඳි බිඳී නැවත නැවත හට ගැන්මකි. 

මෙම ක්‍රියාවලිය අවබෝධ කරගැනීමට තරම් අප තවම සූක්ෂම නැත. එහෙත් නිතිපතා සූක්ෂමව සිත දෙස බැලීම පුරුදු වීමෙන් මෙය අවබෝධ කරගැනීමේ අවස්ථාවට පත් විය හැක.  උදාහරණයක් වශයෙන් ඇසෙහි එකවරකට විඤ්ඤාණය වන්නේ එක් ආලෝක තරංගයක් පමණි. එහෙත් අපිට ප්‍රායෝගිකව ආලෝක තරංග ප්‍රොකෝටි ගණනකින් සෑදුණු රූපයක් පෙනෙනවායැයි හැඟෙන්නෙ ඉහත කී ක්‍රියාවලිය එතරම් වේගවත් බැවිනි. අනෙක් ආයතන වල ස්පර්ෂයන්ද සිතිවිලිද ක්‍රියා ස්වරූපයන්ද එතරම් වේගවත්ය. ඒ එක එකක් චිත්තක්ෂණ ආශ්‍රයෙන් අභිධර්මයේ විස්තර කොට ඇත.

No comments:

Post a Comment