Thursday, July 19, 2012

ශබ්දය, භාෂාව හා වචනය


ශබ්දය, භාෂාව හා වචනය පිළිබඳව මා විසින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල මෙසේ දක්වමි. ඉතාමත් සංකීර්ණ පරමාණුක ක්‍රියාවලීන් සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීමට හැකිවන අයුරින් සරළව හුවා දැක්වීමට උත්සහ ගතිමි.

ශබ්දයක් හටගැනීමට නම් ගැටීමක් සිදුවිය යුතුය. ගැටීම සඳහා වස්තු 2ක් හෝ වැඩි ගණනක් තිබිය යුතුය. වස්තු යනු ශක්ති ස්වරූපයකි. විශ්වයේ අලුතින් මන්දාකිණියක් සැකසෙන අවස්ථාව සලකමු. ආරම්භයේදී කිසිවක් නොමැත. පිටත මන්දාකිණි වලින් විකිරණ විහිදේ. එම විකිරණද ශක්ති ස්වරූපයකි. එම ශක්තීන් ඒක රාශී වීමෙන් සුළි සැකසේ. එම සුළි භ්‍රමණය වන දිශාව අනුව කාන්දම් ශක්තියක් හටගනී. විරුද්ධ දිශාවට කැරකෙන සුළි ආකර්ෂණය වේ. ඒවා ඒකරාශී වීමෙන් ක්වාක, බෝසෝන, ලෙප්ටන ආදිය සැකසේ. ඒවාද ඒකරාශී වීමෙන් ප්‍රෝටෝන, න්‍යුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන සැකසේ. එමගින් විවිධ වර්ගයේ පරමාණු බිහි වේ. පරමාණු අතර ඇතිවන බන්ධන නිසා අණු බිහි වේ. 


අවසාන වශයෙන් සම්පූර්ණ මන්දාකිණියම බිහිවන්නේ මේ ආකාරයටය. දැන් එක ලඟ පවතින අණු 2ක් සලකමු. කිසියම් බලයක් හේතුවෙන් අණු 2 ඝට්ටනය වුවහොත් ඒ අවට ඇති අණු වලටද එය බලපායි. ඒවා කිසියම් රිද්මයකට අනුව සෙලවීමට පටන් ගනී. එවිට එය අන්වායාම තරංගයක් ලෙස හැඳින්වේ. භාෂාවේ ආරම්භය මෙයයි. ඇතිවන රිද්මයට එම අණුවල ස්වභාවය, අණු අතර පරතරය, සෙලවෙන දුර, අණු වල භ්‍රමණය ආදී නොයෙක් දෑ බලපායි. 

මුලින් භාෂාව බිහි වූයේ අණු අතර සන්නිවේදනය සඳහාය. එක් අණුවක් සෙලවෙන විට ඊට ආසන්නයේ අණු ඒ බව දැන ගනී. දැනගෙන ඒවාද ඊට අනුරූපව සෙලවේ. දැනගන්නේ කෙසේද? විද්‍යුත් හා චුම්භක ශක්ති හේතුවෙනි. 

පසුකලෙක ජීවීන් බිහි වූවාට පසු ශබ්දය ඔවුන්ටද උපකාරී වේ. අණු වලින් ජීවීන් බිහිවන ආකාරය පිළිබඳව අග්ගඤ්ඤ සූත්‍රයේ විස්තර කොට ඇත. ඒ පිළිබඳව වැඩි විස්තර පසුව ලිපියක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. මෙම ලිපියෙහි අවධානය යොමු කරන්නේ භාෂාව පිළිබඳවයි. 

භාෂාවක් ඇත්තේ භාෂණය සඳහාය. ඕනෑම ජීවියෙකුට භාෂාවක් ඇත. මිනිසුන්ට පමණක් නොව, ගවයන්ට, බල්ලන්ට, කුරුල්ලන්ට, මසුන්ට, හා කුහුඹුවන්ටද භාෂාවක් ඇත. එපමණක් නොව බැක්ටීරියා, ඇමීබා, පැරමීසියම් ආදී ක්ෂුද්‍ර ජීවීන්ටද භාෂා පවතී. දන්නා තරමින් තවම විද්‍යාවෙන් සොයාගෙන නැතුව ඇති. නමුත් මම ප්‍රකාශ කරන්නේ සත්‍යය. 

ජීවීන් අතර සන්නිවේදනය සිදුවන්නේ කෙසේද?

අණු චලනය වීමෙන් ශබ්දය ඇති වේ. එහි රිද්මය භාෂාවයි. ජීවීන් අතර ශබ්ද සන්නිවේදනය සිදුවන්නේද අණු ආශ්‍රයෙනි. 

පටිච්චසමුප්පාදය පිළිබඳ කලින් ලිපියේ සිත් පහළ වන ආකාරය ගැන සාකච්ඡා කළා.
මොහොතක් මොහොතක් පාසා ජීවියාගේ විඤ්ඤාණය වන රූපකලාප හෙවත් පරමාණුක අංශු පුපුරයි. එයින් තාපයක් නිකුත් වේ. එම තාපයට අදාළ උෂ්ණත්වයක් පවතී. එම උෂ්ණත්වය ඇතැම් විට වචනයක් සැකසීමට තරම් ප්‍රබල වේ. වචනය සැකසෙන්නේ පිටවන උෂ්ණත්ව වලට අනුරූපව කම්පනය වන පරමාණුක අංශු වල රිද්මය ආශ්‍රයෙනි. වචනයක් සැකසුණු සැණින් එය පිට නොවේ. පිට වීමටත් හැකිය, නොවීමටත් හැකිය. වචනය පිට වීම උගුර ආශ්‍රිතව සිදුවන ක්‍රියාවලියකි. ඇතැම් ජීවීන්ගේ වෙනස් විය හැක. උදාහරණයක් ලෙස අමීබාවාට උගුරක් නොපවතී. සිරුරේ ඕනෑම ස්ථානයකින් කම්පනය ඇති කළ හැක. පරමාණුක අංශු වල රිද්මයානුකූල කම්පනය අණු විශාල වශයෙන් සෙලවීමට තරම් ප්‍රබල වුවහොත් ස්වරාලය ආශ්‍රිත පටක කම්පනය වේ. එමගින් ඒ ආශ්‍රිත වායු අණු රිද්මයකට අනුව සෙලවේ. 

කලින් සඳහන් කළ පරමාණු පිපිරීමෙන් ඇති වන උෂ්ණත්වය මුඛයටද බලපායි. මෙය බොහෝ විට න්‍යුරෝන ආශ්‍රිතව සිදුවන්නකි. එමගින් මුඛයේ පටක කම්පනය වන අතර මුඛයේ යම් යම් ස්ථාන සෙලවීම මගින් පෙර සඳහන් කළ උගුරෙන් පිටවන කම්පනය වන වාත ධාරාවට තව දුරටත් රිද්මයක් එක් කරයි. එය අන්වායාම තරංග ලෙස බැහැර වේ. 

එම අන්වායාම තරංග වෙනත් ජීවියෙකු විසින් හඳුනාගැනීමද සංකීර්ණ ක්‍රියාවලියකි. ජීවීයාගේ කනෙහි සෝතප්‍රසාදරූප බොහෝ ගණනක් පවතී. අන්වායාම තරංග ඒවායෙහි ගැටුණු විට ඒ රිද්මයටම ඒවාද කම්පනය වේ. සෝතප්‍රසාදරූප යනු බුදුදහමෙහි එන වචනයකි. එයට කියන විද්‍යාත්මක නම මා නොදනිමි. ඒවා කම්පනය වූ විට ඒ තුළ ඇති පරමාණුක අංශු පුපුරා තාපයක් නිකුත් වේ. එමගින් එය හඳුනාගැනීම සිදු වේ. පරමාණු නැවත සැකසේ. 

ඕනෑම භාෂාවක් ආරම්භ වන්නේ විශ්වයේ රිද්මයට අනුකූලවය. වචනයක් හටගන්නේ පරමාණු කම්පනය වන රිද්මයට අනුකූලවය. ඕනෑම ක්‍රියාවලියක රිද්මයක් පවතී. ක්‍රියාවලියක් යනු ක්‍රියාවන් කිහිපයක එකතුවකි. පරමාණුක අංශුවක ස්ථානය වෙනස් වීම ක්‍රියාවක් ලෙස ගත හැකිය. කාල ප්‍රාන්තර කිහිපයකදී පරමාණුක අංශුව පවතින ස්ථානය, එහි අඩංගු ශක්තිය ආදිය අනුව රිද්මය තීරණය වේ. 

ඕනෑම ක්‍රියාවකට ඒ හා සබැඳුණු රිද්මයක් තිබේ. ඊට අදාළ වචන ස්වරූපයක් සකස් වේ. කිසිදු භාෂාවක් නොදත් මාස කිහිපයක් වයස දරුවෙකුගේ කටින් 'මා', 'මමා', 'අම්මා' යනුවෙන් 'ම' ආශ්‍රිත වචනයක් ඉබේම කියැවේ. 'ම' යනුවෙන් අදහස් වන්නේ නිර්මාණයට අදාළ විශ්ව ශක්ති ස්වරූපයයි. එම දරුවා මවගේ නිර්මාණයකි. ඊට අදාළ රිද්මය එම දරුවා තුළ පවතී. 'ම' යනුවෙන් ඉබේම පැවසෙන්නේ ඒ නිසාය. සමහරු තර්ක කරන්න පුළුවන් එම දරුවාට අවටින් ඇසෙන ශබ්ද නිසා එහෙම පවසනවා කියා. නමුත් එසේ නොවන අවස්ථා වලත් එම සිදුවීමම වන බව පර්යේෂණ වලින් ඔප්පු වී ඇත.


ඕනෑම වස්තුවකට ඊට ආවේණික ශබ්ද ස්වරූපයක් පවතී. 'රා' මගින් ඉර, හිරු, සූර්යයා සංකේතවත් වේ. බොහෝ ආසන්න ගුණ ඇති වචන වලට ආසන්න ශබ්ද පවතී.
බුද්ධ, බුද්ධිය, බුද
පඨවි, පෘථිවි, පට්ට
ආපෝ, පාන, පැණි, පිනි
නාම, නම, නැමීම, නම්‍ය

ලෝකයේ සෑම භාෂාවක්ම සැදී ඇත්තේ තනි භාෂාවකිනි. භාෂා වල ඇති සමානතා නිසා ඒ බව හැඟෙයි. හෙළ භාෂාව, සංස්කෘත භාෂාව, ග්‍රීක භාෂාව ආදිය බොහෝ පැරැණි භාෂාවන්ය. ඒ භාෂා අතර සමානතා පවතී. උදාහරණයක් ලෙස 'හේලි' යන වචනය හෙළ භාෂාවේද ග්‍රීක භාෂාවේද පවතී. භාෂා දෙකෙහිම එහි තේරුම සූර්යයා වේ.

ඕනෑම ක්‍රියා ස්වරූපයකට අදාළ වචන ස්වරූපයක් පවතින බව කලින් සඳහන් කළෙමි. එහි විලෝමයද සත්‍ය වේ. ඕනෑම වචන ස්වරූපයකට අදාළ ක්‍රියා ස්වරූපයක්ද පවතී. මන්ත්‍ර වලින් සිදුවන්නේ ඒ කාර්යයයි. වචන සමූහයක් රිද්මයකට අනුව ඉතා නිවැරදිව ප්‍රකාශ කිරීමෙන් ඊට අදාළ සිදුවීමද සිදු වෙයි. ඇතැම් වචන තුළ එසේ විශිෂ්ට ශක්තියක් ගැබ්ව පවතී. එමෙන්ම එකම කාර්යයක් කරන අවස්ථාවක ඕනෑම වචනයක් දීර්ඝ කාලයක් පුරා මිනිසුන් බොහෝ ගණනකගේ මුවින් පිට වුවහොත්, එම වචනයට ශක්තියක් ගැබ් වෙයි. 'ශක්ති', 'බල', 'භගවා', 'නමෝ', 'බුද්ධ', 'දේවා', 'ලෝ', 'ඕම්', 'භාග්වතී, 'ජීසස්', 'අල්', 'රාවණා', 'ගුරු' එවැනි වචන වලට උදාහරණ කිහිපයකි.

නමුත් එම වචන වැරදි ලෙස දීර්ඝ කාලයක් භාවිතා කළහොත් එහි අඩංගු ශක්තිය හීන වේ. උදාහරණයක් ලෙස 'අරහං' හා 'සක්විති' යන ප්‍රබල වචන නූතනයේ වැරදි තේරුමක් හැඟෙන ආකාරයට පරිහරණය වේ. එය දීර්ඝ කාලයක් සිදු වුවහොත් එම වචන තුළ ඇති ශක්තිය අඩු වේ.  

එහෙත් වෙනත් ලොවක ජීවීන් විසින් මෙවැනි වචනයක් වෙනත් තේරුමක් සඳහා භාවිතා කරන්නට පුළුවන. වචනයට අදාළ ශක්තිය තැන්පත් වන්නේ පරමාණු තුළය. එවැනි ලෝකයක පරමාණු වලින් මෙහෙට ඇති වන බලපෑම අවම වේ. එබැවින් එකම වචනයට වුවත් විවිධ ලෝක වල ඇත්තේ වෙනස් ශක්තීන්ය. පෘථිවියේ වුවද එක් එක් ප්‍රදේශ වල වචන වලට අදාළ ශක්තිය සුළු වශයෙන් වෙනස් වේ. උදාහරණයක් වශයෙන් 'අල්' යන වචනය වැඩිපුරම භාවිත වන්නේ අරාබි රටවලය. එබැවින් එම රටවල් වලදී එම වචනයේ ශක්තිය වැඩිය.

මෙලෙස භාෂාව පිළිබඳව තවත් කරුණු රාශියක් පවතී. ඔබගේ දැනුම සඳහා මෙම ලිපිය වැදගත් වේ යැයි මම සිතමි. ඔබේ අදහස් දැක්වීමට comment කරන ලෙස ඉල්ලා සිටිමි.

Sunday, July 1, 2012

My Research of පටිච්චසමුප්පාදය


පටිච්ච යනු 'ප්‍රත්‍ය කරගෙන' යන්නයි. යම් සිදුවීමකට උපකාර වන්නේ යමක්ද එය ප්‍රත්‍යයි. සමුප්පාද යනු සමව උප්පාදනය වීමයි. එනම් ප්‍රත්‍යයට අනුකූල ප්‍රතිඵලයක් ඇති වීමයි.

මනුෂ්‍යයින්, තිරිසන් සතුන්, අමනුෂ්‍යයින්, නිරිසතුන්, දෙවියන්, බ්‍රහ්මයින් ඇතුළු විශ්වයේ සියලු ජීවීන් ස්වයංක්‍රීය වස්තූන්ය. ඒ සියල්ලටම රූපකලාප (අණු, පරමාණු, උපපරමාණුක අංශු ආදී ශක්ති පොදි) වලින් සැදි ශරීර පවතී. අරූපාවචර බ්‍රහ්මයින්ටද ඉතාමත් සියුම් ශරීර පවතී. ජීවයක් පැවතීමට ශරීරයක් අත්‍යවශ්‍ය වේ. මෙම රූප කලාප සියල්ල හේතූන් නිසා හටගන්නා අතර ක්ෂණිකව බිදී යයි. එයම නැවත හේතුවක් වී රූපකලාප හට ගනී. අසුරු සැණක් ගසන මොහොතක ලක්ෂ කෝටි ප්‍රොකෝටි වාරයක් රූප කලාප ඇති වී නැති වී යයි. 

ඒ සියල්ලෙහිම දුක්ඛය අන්තර්ගතය. දුක්ඛය යනු දූෂණය වෙමින් ක්ෂය වෙමින් හටගන්නා වූ විඳීම් ස්වරූපයයි. දුක්ඛය නොදැනීම, දුක්ඛයට හේතුව නොදැනීම, දුක්ඛය නැති කිරීමට හැකිය යන්න නොදැනීම, දුක්ඛය නැති කිරීමේ මාර්ගය නොදැනීම අවිද්‍යාවයි. එය අවබෝධ කරගන්නා විද්‍යාව උපදවාගනී. එනම් රහත් භාවයට පත් වී දුක්ඛයෙන් සදහටම මිදෙයි. තමා එවැනි විද්‍යාව අවබෝධ නොවුණු ජීවියෙකි. එනිසා තමා "මම", "මගේ" යනුවෙන් අයිතිවාසිකමක් සාදාගෙන ඇත. ක්ෂණිකව බිඳෙන රූප කලාප තුළ තමාට අයිති දෙයක් නොපවතී.  

අවිජ්ජාපච්චයා සංඛාරා
අවිද්‍යාව නිසා සංස්කාර හටගනී. සංස්කාර යනු දුක්ඛ ස්වරූපය සහිත ජීවියාගේ පැවැත්ම තවත් ඉදිරියට ගෙන යා හැකි ආකාරයෙන් ඇතිවන සකස්වීමයි. බැඳීම සංස්කාර වල ඇති එකම ලක්ෂණයයි. සෑම රූපකලාපයක් සකස් වීමේදී අවිද්‍යාව ඒ තුළ පවතී. එය අසවල් ශක්තීන් වලින් අසවල් ආකාරයට නිර්මාණය වන බව එය දනී. රූපකලාප තුළ කාන්දම් ශක්තියක් පවතී. මුළු විශ්වයම සෑදී ඇත්තේ රූපකලාප වලින් වන අතර ඒවායේ කම්පනය නිසා විශ්වය පවතී. රූපකලාප තුළ අන්තර්ගත වන කාන්දම් ශක්තීන් වර්ග 5කට වෙන් කළ හැක. එනම් රූපකාම, ශබ්දකාම, ඝන්ධකාම, රසකාම, හා ඵොට්ටබ්බකාමයයි. 

සංඛාරාපච්චයා විඤ්ඤාණං
උදාහරණයක් ලෙස ඇසෙහි රූපකාම ශක්තිය පවතින රූපකලාපයක් සලකමු. එම රූප කලාපයට වෙනත් බාහිර රූප කලාපයකින් නිකුත් වූ ආලෝක තරංගයක් වැටුණු සැණෙකින් එම රූපකලාපයේ තිබූ රිද්මය වෙනස් වේ. එනම් එහි කම්පනයක් ඇති වේ. එම කම්පනය වීම විඤ්ඤාණයයි. මෙහිදී හටගෙන ඇත්තේ චක්ඛු විඤ්ඤාණයයි. මෙසේම කණෙහි ශබ්දකාම ශක්තිය පවතින රූපකලාපයක් මතට ශබ්ද තරංගයක් වැටුණු විට ඇතිවන කම්පනය සෝත විඤ්ඤාණයයි. නාසයෙහි ඝන්ධකාම ශක්තිය පවතින රූපකලාපයක් මතට වායු අණුවක් ගැටී එහි රසායනික ශක්තිය නිසා ඇතිවන කම්පනය ඝාන විඤ්ඤාණයයි. දිවෙහි රසකාම ශක්තිය පවතින රූපකලාපයක් මතට ද්‍රව අණුවක් ගැටී එහි රසායනික ශක්තිය නිසා ඇතිවන කම්පනය ජිව්හා විඤ්ඤාණයයි. ශරීරයේ ඵොට්ටබ්බකාම ශක්තිය පවතින රූපකලාපයක් මතට වෙනත් ඕනෑම රූපකලාපයක් (ඝන, ද්‍රව, වායූ අංගු, තාප විකිරණ ආදිය ) ගැටීමෙන් ඇතිවන කම්පනය කාය විඤ්ඤාණයයි. එමෙන්ම මේ සියල්ල එක් වී මතකය ආශ්‍රයෙන් ඇති වන කම්පනය මනෝ විඤ්ඤාණයයි.

විඤ්ඤාණපච්චයා නාමරූපං
විඤ්ඤාණයෙහි ක්‍රියා ශක්තියක් පවතී. අදාළ රූපකලාපයේ කාන්දම් ශක්තිය විඤ්ඤාණය වූ දෙසට එකෙණෙහිම නැමෙයි. එය "නාම" යනුවෙන් හඳුන්වයි. කාන්දම් ශක්තියෙහි ඇති වන සෙලවීම නොහොත් රුප්පනය වීම "රූප" යනුවෙන් හඳුන්වයි. "නාම-රූප" යනුවෙන් හඳුන්වන්නේ රූපකලාපය තුළ කාන්දම් ශක්තියේ නැමීම හා සෙලවීමයි. සංස්කාර වලට උදව් ලැබෙන්නේද නැමීම හා සෙලවීමෙනි. ඒවා එකිනෙකට ප්‍රත්‍ය වෙයි. 

රූපකලාපයේ කාන්දම් ශක්තිය නාම-රූප වූ සැටියේ එනම් නැමී සෙලවී ගිය සැටියේ එය පුපුරයි. ඒ අවස්ථාවේ එහි ගැබ්ව තිබූ ශක්තිය පිටකරයි. එහි ඇති කාන්දම් ශක්තිය පිළිගැනීමට සමත් සෑම රූපකලාපයක්ම එකෙණෙහිම පුපුරයි. පුපුර පුපුරා තාපය පිටකරයි. 

නාමරූපපච්චයා සළායතනං
පුපුරා ගිය සැටියේ සළායතන හටගනී. එනම් නිෂ්පාදනය කරන ස්ථානය. එවැනි ස්ථාන 6ක් තිබේ. උදාහරණයක් ලෙස ආලෝකය පිළිගන්නා කාන්දම් ශක්තියෙන් යුත් රූපකලාප පිපිරීම සලකමු. පිපිරුණු සැණින් එයින් තාපය පිටවේ. එය මැනගත හැක්කේ දැනෙන වේලාවේමය. පිටවන ශක්තිය තුළ කෙලෙස් මිශ්‍රිතය. 

සළායතනපච්චයා ඵස්සෝ
සළායතන හේතුවෙන් ස්පර්ශය ඇති වේ. එනම් සළායතන වල ශක්තියෙන් තවත් එකක් හා සම්බන්ධ වීමයි. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතරමහාභූත ස්පර්ශයට යොමු වේ. සම්බන්ධ වනවාත් සමඟම ස්පර්ශය මහාභූත වලට බෙදෙයි. ස්පර්ශයේ හා මහාභූතයේ කාන්දම් ශක්ති 2 එක සමාන නම් එහි චලනයක් ඇති වේ. එය ස්පර්ශය වූ බවට සාක්ෂියයි. මෙය තරංගමය ස්පර්ශයකි. පඨවිය යනු ස්පර්ශයෙහි තද වන ප්‍රමාණයයි. තද වීමට ඇති නිදහස ආපෝ ධාතුවයි. තද වන ප්‍රමාණයට හටගන්නා රත් වීම තේජෝ ධාතුවයි. රත් වීමේ ප්‍රමාණයට හටගන්නා කම්පනය වායෝ ධාතුවයි. ආයතන 6හිම සිදුවන්නේ මෙවැනි ස්පර්ශයකි.

ඵස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවෝ
ස්පර්ශය නිසා විඳීමක් හටගනී. ස්පර්ශයේ ප්‍රමාණයට රත්වීමක් ඇති වේ. එය විඳීමයි. දුක්ඛ වේදනා, සුඛ වේදනා යනුවෙන් විඳීම දෙයාකාරයකි. ස්පර්ශයෙන් හටගන්නා රත්වීම දුක්ඛ වේදනා ඇති කරන අතර රත්වීමෙහි අඩුවන ප්‍රමාණය සුඛ වේදනා වේ. 
විඳීම නිසා තණ්හාව ඇති වේ. එනම් රත් වන ප්‍රමාණයට තමාගේ අරමුණ කෙරෙහි යොමු වීමක් ඇති වේ. රත්වීම වැඩිවත්ම කාන්දම් හා විද්‍යුත් ශක්තිය වැඩි වේ. එවිට තණ්හාව වැඩි වේ. තණ්හාව නිසා උපාදානය ඇති වේ. එනම් එය තදින් අල්ලාගැනීමයි. උපාදාන නිසා භව ඇති වේ. එනම් අල්ලාගත් ප්‍රමාණයට අනුව සිදුවන සිද්ධියයි. 

භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදෝමනස්සූපායාසා
භව නිසා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇති වේ. ජාති අවස්ථාවේ සිතිවිලි පහලවේ. ජාති ජරා ව්‍යාධි මරණ ලෙස පෙන්නුම් කරන්නේ ක්‍රියාවට යොමු වූ රූපකලාප විනාශ වීමයි. ක්‍රියාවට යොමුවන ප්‍රමාණයට ශෝකය උපදී. එනම් රත්වීමයි. ඒ රත්වීමේ ප්‍රමාණයට එය මුළු සිරුරේම පැතිරෙයි. එනම් පරිදේවයයි. එයින් සිරුර කම්පනය වේ. එය ඇසට පෙනෙන කම්පනයක් නොව පරමාණුක කම්පනයකි. එමගින් දුක්ඛය හටගනී. දෝමනස්සය යනු දුක්ඛය නිසා ඇතිවන කණස්සලුභාවයයි. උපායාසය යනු දෝමනස්සය පවත්වන ක්‍රියාකාරිත්වයයි.

ඉහත මුල සිට සඳහන් කළ ක්‍රියාකාරිත්වය අසුරුසැණක් ගසන මොහොතක කෝටි ප්‍රොකෝටි වාරයක් සිදුවේ. එසේ පුපුරණ රූපකලාප වල ශක්තියෙන් තවත් රූපකලාප ඒ ආශ්‍රිතවම බිහි වේ. මේ ආකාරයට සීමාවක් නැතිව පුපුර පුපුරා තවත් රූපකලාප බිහි වේ. එම රූපකලාප වල කාන්දම් ශක්ති ප්‍රමාණයන් ඇති වන්නේ තමා කරන ක්‍රියා වලට අනුරූපවය. තමා කරන කුසල් හා අකුසල් වල ශක්තිය ඉදිරියට ගෙනියන්නේ රූපකලාප තුළිනි. ඉදිරියට ගෙනයාම යනු ස්ථිර පැවැත්මක් නොවේ. බිඳි බිඳී නැවත නැවත හට ගැන්මකි. 

මෙම ක්‍රියාවලිය අවබෝධ කරගැනීමට තරම් අප තවම සූක්ෂම නැත. එහෙත් නිතිපතා සූක්ෂමව සිත දෙස බැලීම පුරුදු වීමෙන් මෙය අවබෝධ කරගැනීමේ අවස්ථාවට පත් විය හැක.  උදාහරණයක් වශයෙන් ඇසෙහි එකවරකට විඤ්ඤාණය වන්නේ එක් ආලෝක තරංගයක් පමණි. එහෙත් අපිට ප්‍රායෝගිකව ආලෝක තරංග ප්‍රොකෝටි ගණනකින් සෑදුණු රූපයක් පෙනෙනවායැයි හැඟෙන්නෙ ඉහත කී ක්‍රියාවලිය එතරම් වේගවත් බැවිනි. අනෙක් ආයතන වල ස්පර්ෂයන්ද සිතිවිලිද ක්‍රියා ස්වරූපයන්ද එතරම් වේගවත්ය. ඒ එක එකක් චිත්තක්ෂණ ආශ්‍රයෙන් අභිධර්මයේ විස්තර කොට ඇත.